ටිබෙට් දේශයේ සිකිම් නුවර උපන් තෂිනෙම්ග්‍යල් කුමරුවා වයස 12 දී පමණ පැවිදි යතුවරයාණන් නමක් වූ තම සොහොයුරු සිකීම් පුන්නජි හිමියන් හා ජර්මන් ජාතික ඤාණාතිලෝක හිමියන් සමඟ මෙරටට සැපත් වූහ. දොඩම්දූවේ පොල්ගස්දූවේ ආරාමයේ වෙසෙමින් කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනින් සිංහල පාලි, සංස්කෘත භාෂා ශාස්ත්‍ර ප්‍රගුණ කළ තෂිනෙම්ගදල්මහා බෝධි විද්‍යාලයට ඇතුළත් වී ඉංග්‍රීසි භාෂාව ද හැදෑරුවේ ය. පළමු ලෝක සංග්‍රාමය පැවති සමයේ පුන්නජි හා ඤාණතිලෝක හිමිවරුන්ගේ ඇවෑමෙන් මොහු පැවිදි බිමට පත් වූබව සඳහන් ය. මෙතුමන් පැවිදි බව ලැබුයේ දොඩම්දූවේ ශෛල බිම්බාරාමයේදී සිකීම් මහින්ද නමිනි. පැවිදි උපාධ්‍යයන් වහන්සේ වූයේ රත්ගම, සිරි චූල සුමන හිමියන්ය. මුලසිටම කවියට ඇලුම් කළ මහින්ද හිමියන්ට දොඩම්දූවේ දී හමු වූ සිරි ජිනරතන හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ තම කවිකම පුබුදුවා ගන්නට අවස්ථාව උදාවිය.
මුලදී අමරපුර නිකායේ පැවිදි බව ලත් මේ හිමියන් 1930 පමණ එවක විද්‍යාලංකාර පරිවේණාධිපතිලුණු පොකුනේ ශ්‍රී ධම්මානන්ද නාහිමියන් ළඟ යළි පැවිදි බව ලැබූහ. 1931 උපසම්පදාව ලද මුන්වහන්සේ රත්මලානේ වැඩ වෙසෙමින්, සිංහල, පාලි, සංස්කෘත යන තෙබසින්ම ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම, විභාග සමත්ව ආනන්ද මහ විදුහලේ ගුරුපත්වීමක්ද ලැබූහ. 1936 සිට පානදුරේ මහ බෙල්ලන ශ්‍රී සුධර්මාරාමයේ වාසය කළ මහින්ද හිමියෝ අපවත්වනතුරු එහි වැඩ විසූ බව සඳහන් ය. එහිදී ශාසනික මෙන්ම මහා ජාතික මෙහෙවරක් ඉටු කළහ. එස්. මහින්ද හිමි 1934 සිට 1936 දක්වා නාලන්දා විද්‍යාලය, කොළඹහි ගුරුවරයෙක් වශයෙන් සේවය කලහ.
මහින්ද හිමියන්ගේ දේශාභිමානී හා ජාතිකාභිමානී කවි එදා පරාදීනව සිටි සිංහල ජනතාවගේ හදවත්වලට කා වැදුණි. එදා ඉංගී‍්‍රසි ජාතීන්ගේ පාලනයට යටත්ව සිටි සිංහල ජාතිය තම ජාතික, දේශීය, සිරිත් විරිත් ඇවතුම් පැවැතුම් අමතක කර පර සිරිතට නැඹුරු වන්නට විය. සිංහල ජාතියේ මේ පර ගැතියාව නොඉවසූ මහින්ද හිමියන් ඉතා නිර්දය ලෙස සිංහලයාගේ පර ගැතියාව විවේචනය කිරීම සඳහා කවිය උපයෝගී කොට ගත්තේ ය.
නිදහස් දැහැන, නිදහසේ මන්ත්‍රය, ලංකා මාතා, ජාතික තොටිල්ල උන්වහන්සේ තුළ තිබූ ප්‍රබල දෑහිතකාමයට දෙස් දෙන්නේ ය. එදා අපරටට අවශ්‍යව තිබූ නිදහස ලබා ගන්නට උන්වහන්සේ කවිය අමෝරාගෙන සටන් වැදුණේ ය.මහින්ද හිමියන් කරන ලද ජාතික සේවාවේ ප්‍රබල අංගයක් ලෙස උන්වහන්සේ සිංහල දැයේ දරුවන්ට දෙන ලද ළමා සාහිත්‍ය පත පොත හඳුන්වා දිය හැකි ය. මහින්ද හිමියන් සාහිත්‍යයට කරන ලද මෙහෙවර අද්විතීයහ.
ජාතික තොටිල්ලෙන් උන්වහන්සේ දැයේ දරුවන්ට තමා උපන්බිම ගැන තමා උපන් ජාතිය ගැන ජාතික කැක්කුම දනවන්නට උත්සාහ කිරීම නිසා එදා දැයේ දරුවන් උපන්බිමට ආදරය කරන්නට විය.
ළමා සාහිත්‍ය පෝෂණය කරන්නට උන්වහන්සේ ලියූ කවි අතර,
‘උදය සවස’ ‘මගේ පොතේ අගේ’ ‘ලේනා’ , ‘බමරා හා මල’, ‘වයසේ වෙනස’, ‘මඟුල් ගෙවල් දෙකක්’, ‘රෝස මල හා ළමයා’, ‘ සමගිය බලයවේ’, ‘ කීකරු ළමයා’, ‘යුතුකමෙහි අගේ’, ‘මව්බිම’, ‘ හොඳ ළමයා’ වැනි කවි වලින් යහපත් ළමා ලෝකයක්, ආදරය අහිංසාව දනවන ළමා මනසක් ගොඩනඟන්නට මහත් වෑයමක යෙදී ඇති බව පෙනේ.
0 comments:
Post a Comment