ශ්‍රී ලංකාවට එරෙහි ව නැඟෙන මානව හිමිකම් චෝදනාවලට ආණ්ඩුව ඉතා තර්කානුකූල ව පිළිතුරු සපයමින් සිටී. සත්‍ය කරුණු මත පදනම් වෙමින් මානව හිමිකම් කොමිසමේ ඇතැම් නිලධාරීන් හා ඇතැම් රාජ්‍යයන් විවේචනය කිරීමට ද ආණ්ඩුව නිර්භීත වී සිටී. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කිසිවක් සැඟවීමට උත්සාහ කරන්නේ නැති බවත්; ඕනෑම චෝදනාවකට ඍජු පිළිතුරු ලබාදීමට සූදානම් බවත් අපගේ නියෝජිත කණ්ඩායමේ හැසිරීමෙන් මොනවට සනාථ වේ. ආණ්ඩුවේ නියෝජිතවරිය පළමුව කියා සිටියේ අමෙරිකාව ඉදිරිපත් කිරීමට යන වාර්තාව අයුක්ති සහගත වන්නා සේ ම මානව හිමිකම් කොමිසමේ ප්‍රතිපත්තිවලට ද පටහැනි බව ය.
මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස්වරිය වන නවනීදන් පිල්ලෙයි මැතිනිය මුල සිටම ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කළ තැනැත්තියකි. ඇය ජාතිවාදී ස්වරූපයකින් හැසිරෙන බවත්; දෙමළ ත්‍රස්තවාදයට වක්‍ර ලෙස සහයෝගය දක්වන බවත් සිහි නුවණ ඇති ඕනෑම කෙනකුට පැහැදිලි වේ. එතුමියගේ වාර්තා, විවේචන හා නිර්දේශ යන සියල්ලෙහි ඉලක්කය වන්නේ ශ්‍රී ලංකාව දැඩි අසීරුවකට පත්කිරීම ය. ඇයගේ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සමගියට බාධාවක් බවත්; සංහිඳියාවට බාධාවක් බවත් ඇමැති මහින්ද සමරසිංහ මහතා කෙළින් ම කියා සිටියේ ය.
මෙය ඉතා වැදගත් අවස්ථාවක් සේ සැලැකිය හැකි ය. මානව හිමිකම් කොමිසමේ ප්‍රධාන නිලධාරිනිය හා ඇයට සහයෝගය පළ කරන අමෙරිකන් නියෝජිත පිරිස ද ඉදිරියේ මේ චෝදනා එල්ල කිරීම මගින් ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඍජුභාවය ප්‍රකට වේ. මානව හිමිකම් කොමසාරිස්වරිය මේ සැසියට පෙර සිට ශ්‍රී ලංකාව ගැන දැක් වූ අදහස් නිවැරැදි නැත. ඇයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිවැරැදි වැටහීමක් හෝ වර්තමාන කටයුතු සම්බන්ධයෙන් අත්දැකීමක් ද නැත. එතුමිය සැසියට පෙරාතුව දැක්වූ විවේචනාත්මක අදහස් වෙනත් රටවල් නොමඟ යවන සුලු ය. මේ තත්ත්වය අනෙකුත් රාජ්‍යයන් නිසි ලෙස අවබෝධ කරගන්නේ නම්; වඩා වැදගත් වනු ඇත.
ප්‍රධාන කරුණු තුනක් ඔස්සේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ වර්තමාන තත්ත්වය විශ්ලේෂණය කළ හැකි ය. පළමුවන්න නැවත පදිංචිකිරීම් ය. දෙවන්න යුද්ධය පැවැති පළාත්වල අද පවත්නා සංවර්ධන ක්‍රියාවලිය යි. ෙතවන්න උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය යි. මේ කරුණු එක් අතකින් මානව හිමිකම් කොමිසමේ ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද නිර්දේශවලට එකඟ ය. මානව හිමිකම් කොමිසම බැලිය යුත්තේ ශ්‍රී ලංකාව ඉහත කී සාධක කොතෙක් සාර්ථකව ඉටු කර තිබේ ද යන්න ය. එහෙත් කොමිසමේ ඇතැම් පාර්ශ්වයන් උත්සාහ කරනුයේ වෙනත් චෝදනා මත ශ්‍රී ලංකාව මත වරද පැටවීමට ය.
ත්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුම අවසන් වූයේ 2009 මැයි මාසයේ ය. අද වන විට ගෙවී ඇත්තේ වසර තුන - හමාරක් වැනි සුළු කාලයෙකි. මානුෂීය මෙහෙයුම අවසන් වන විට සරණාගතයන් ලෙස සිටි පිරිස 2,95,000ක් වූහ. මේ සුළු කාලය තුළ සියලු සරණාගතයන් නැවත පදිංචි කිරීමට හැකියාව ලැබී ඇත. සියලු දෙනාට ම පාහේ තමන්ගේ පරණ වාසස්ථාන හා ගම්බිම් ලැබී ඇත. ඇතැම් පවුල් ඔවුන්ගේ කැමැත්ත මත වෙනත් ප්‍රදේශවල පදිංචි වී සිටිති. 2013 ජනවාරිය අවසන් වන විට අවසන් කණ්ඩායම ද නැවත පදිංචි කර තිබේ. දැන් සරණාගත කඳවුරු නැත.
කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් මත සරණාගත තත්ත්වයට පත් වූ මේ පිරිසට වාසස්ථාන, ආහාර හා වෙනත් පහසුකම් ලබා දුන්නේ රජයේ වියදමෙන් ය. කොටි සංවිධානයේ බලය පැවැති කාලයේ මේ පිරිසගේ මානව හිමිකම් උල්ලංඝනය වී තිබිණි. දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වී තිබිණි. එහෙත් මානව හිමිකම් කොමිසම හෝ අමෙරිකාව වැනි බලවත් රාජ්‍යයන් හෝ කොටි සංවිධානයේ මානව හිමිකම් ගැන කතා කරන්නේ නැත. කොටි සංවිධානය සිය අවසන් කාල පරිච්ඡේදය තුළ ද ළමා සොල්දාදුවන් 594 දෙනකු බඳවාගෙන තිබිණි. අද මේ පිරිස පුනරුත්ථාපනය කොට සමාජගත කර තිබේ. මුළුමනින් ම ගත් කළ එල්.ටී.ටී.ඊ. යුද පුහුණුව ලද 12,000කට ආසන්න පිරිසක් පුනරුත්ථාපන ක්‍රියාවලියට හසුකොට පසු ව සමාජ ගත කර සිටිති. මොවුන්ගෙන් වැඩි දෙනෙක් දැන් රැකියාවල නිරත වෙති.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතට හා නැඟෙනහිර පළාතට ලබා දී ඇති නව සංවර්ධනය එක අතකින් පුදුම සහගතය. යුද්ධයක් පැවැති රාජ්‍යයක යුද කලාපයක් මෙතරම් කෙටි කාලයක් තුළ සංවර්ධනය කර ඇති එක ම රාජ්‍යය ශ්‍රී ලංකාව විය යුතුයි. පලාලි ගුවන් තොටුපොළ හා කන්කසන්තුරේ වරාය මේ වන විට මුළුමනින් ම නිදහස් ය. ධීවර කටයුතු හා කෘෂිකර්මය සාමාන්‍ය පරිදි සිදුවේ. ජන ජීවිතය ද මුළුමනින් ම නිදහස් ය. දහස් ගණන් දේශීය හා විදේශීය සංචාරකයෝ උතුරේ චාරිකා කරති. වාණිජ කටයුතු පුළුල් වෙමින් පවතී. එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් පුපුරුවා විනාශ කරන ලද උතුරේ දුම්රිය මාර්ගය යළි ඉදිවෙමින් පවතී. 2015 වන විට එය විවෘත කිරීමට සැලැසුම් කර තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ එක් චෝදනාවක් වන්නේ උතුරේ ආරක්ෂක හමුදාවන් රැඳී සිටීම ය. එහෙත් හමුදාව ක්‍රමයෙන් එම ප්‍රදේශවලින් ඉවත් කරගෙන ඇති බව ඔවුන් හෙළිදරව් කරන්නේ නැත. අද උතුරේ අධි ආරක්ෂිත කලාප නැත. බිම් බෝම්බ පැවැති ප්‍රදේශවලින් 99%ක් පමණ ඒවායින් මුදාගෙන නිදහස් කලාප බවට පත් කර තිබේ. රජයේ හමුදාවෙන් අනුඛණ්ඩ කිහිපයක් පමණක් එහි රැඳී සිටිති. දෙමළ ජනතාවගේ ආරක්ෂාවට හා රටේ ආරක්ෂාවට එබඳු පිළිවෙතක් අනුගමනය කළ යුතුව තිබේ. එහි රැඳී සිටින හමුදාව උතුරේ සිවිල් පාලනයට ඇඟිලි ගසන්නේ නැත. සංවර්ධනය සඳහා ඉඩම් ලබා ගැනීමේ දී ද සාමාන්‍ය ඉඩම් ප්‍රතිපත්තිය අනුගමනය කරනු ලැබේ.
මේ තත්ත්වයන් නිවැරැදි ලෙස තක්සේරුවට ලක්කළහොත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිදු මානව හිමිකම් චෝදනාවක් එල්ල කිරීමේ හැකියාවක් කිසිදු රාජ්‍යයකට හෝ කිසිදු සංවිධානයකට හෝ නැත. එහෙත් ලෝකයේ බලවත් රාජ්‍යයන් මෙන්ම බලවත් සංවිධාන ද කටයුතු කරනුයේ දෙබිඩි ප්‍රතිපත්තියක් මත ය. ඒ අනුව අමෙරිකාවේ මානව හිමිකම් ගැන කිසිවකු කතා කරන්නේ නැත. එහෙත් ශ්‍රී ලංකාව වැනි රටවලට අසත්‍ය කරුණු මත පදනම් වෙමින් චෝදනා එල්ල කිරීමට සමහරුන් සූදානම් ය. මේවා අපගේ ස්වාධීනත්වයට එරෙහිව නැඟෙන අභියෝග බැවින් ඊට නොබියව හා සැලැසුම් සහගත ව මුහුණ දිය යුතු ය.
.
0 comments:
Post a Comment